තම පක්ෂයේ ආණ්ඩුවක් තුළ අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට ජම්පරේ ඇන්දවීම අනිවාර්යෙන්ම සිදු කරන බව ජාතික නිදහස් පෙරමුණේ නියෝජ්‍ය නායක ජයන්ත සමරවීර මහතා පවසයි.
විමල් වීරවංශ මහතාගේ වචන යහපාලන ආණ්ඩුවට විශාල ගැටළුවක්වීම හේතුවෙන් ඔහුව මෙලෙස සිර බාරයට ගැනීමට කටයුතු කළ බව ඒ මහතා අද (11) කොළඹ පැවැති මාධ්‍ය හමුවට එක්වෙමින් කියා සිටියේය.
ඒ අනුව ඊයේ (10) දින වීරවංශ මහතාට අභූත චෝදනා එල්ල කරමින් බන්ධනාගාර ගත කරනු ලැබුවේ ලබන 22 දා පැවැත්වෙන පක්ෂ සමුළුවට බිය වූ නිසා බව හෙතෙම පැවසුවේය.
මහබැංකු බැඳුම්කර සිද්ධියට අදාළ උපදෙස් ලබාදීමේ චෝදනාවක් වත්මන් අග්‍රාමාත්‍යවරයාට ඇති බවත්, එම චෝදනාව මෙන්ම වීරවංශ මහතාට ඇත්තේද උපදෙස් ලබා දීමේ චෝදනාවක් බවත් ඔහු කියා සිටියේය.
ඒ අනුව ඉදිරියේදී තම පක්ෂයේ ආණ්ඩුවක් යටතේ රනිල් වික්‍රමසිංහ මහතාටද මේ ආකාරයේම කටයුතු කිරීමට සිදුවනු ඇතැයි ඔහු අනාවරණ කළේය.
නිවාස අමාත්‍යංශය විමල් විරවංශ මහතා බාර ගන්නා අවස්ථාවේදී පාඩු ලබමින් තිබු බවත් එය වැඩි දියුණු කළේ විමල් වීරවංශ මහතා බවත් ඒ මහතා පෙන්වා දුනි.
එමෙන්ම වත්මන් ආණ්ඩුව මේ වන විට වංචා සිදු කරමින් තිබෙන බවත්, ඒ පිළිබඳව පරීක්ෂණ සිදු කළ යුතු ස්ථානවලට දැනුම් දී තිබුණද මෙතෙක් ඒ සම්බන්ධයෙන් සාධාරණ විසඳුමක් ලැබී නොමැති බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියේය.
එම මාධ්‍ය හමුවට එක්වෙමින් එම පක්ෂයේ නියෝජ්‍ය නායක වීරකුමාර දිසානායක මහතා කියා සිටියේ මහ බැංකු බැඳුම්කර සිද්ධිය තුළ අර්ජුන් මහේන්ද්‍රන් ක්‍රියා කළේ අගමැතිවරයාගේ උපදෙස් අනුව බවයි.
ඒ ආකාරයෙන් බලන විට අග්‍රාමාත්‍යවරයා ඇතුළු ආණ්ඩු පක්ෂයේ සියලු දෙනා බන්ධනාගාර ගත කිරීමට සිදුවන බව හෙතෙම වැඩිදුරටත් කියා සිටියේය.
No comments:
Post a Comment