Monetag add

2020/09/06

බන්දුල ඒකත් ගොඩදායි ද?



බන්දුල ගුණවර්ධන !

මතකයිනේ ?

ඕ ලෙවල් කාලේ තමන්ට වෙන්නේ මොකද්ද කිය කියා සිතා ඉද්දී ජීවිතය ජයගන්නට තාක්ෂණික විෂය නම් අලූත් පාරක් තනලා දුන්නු අධ්‍යාපන ඇමතිතුමාව…

මතකයිනේ ?

විසිහතර පැයේ නිකං ඇරලා දාලා කාබාසිනියා කරපු සතොසට යළි පණ දීපු වෙළෙඳ ඇමතිතුමාව…

මතකයිනේ ?

රට පුරා ආර්ථික මධ්‍යස්ථාන හදලා ගෙදර කුස්සියට නැවුම් හා සාධාරණ මිලට එළවළු, පලතුරු ගන්න පුළුවන් සිස්ටම් එකක් හදපු වෙළෙඳ ඇමතිතුමාව…

දෙන දෙන වැඩේ ගොඩ දාන බන්දුල වගේ ඇමතිවරයෙක් මේ තුන් ලෝකේ කොයි කැබිනට්ටුවකවත් සිටියාද, සිටිනවද කියලා දන්නේ දෙයියෝ තමයි. ඒ තරමටම ඔහු ඉපදිලා තියෙන්නේ “වැඩ ගොඩ දාන්නම” කියලයි අපට නම් හිතෙන්නේ. සංසාර පුරුද්දක් වගේ ගේන ඒ “වැඩ කිරීමේ කලාවයි, out of box සිතීමේ හැකියාවයි” නිසා තමයි ඔහුට එහෙම කරන්න පුළුවන් වෙලා තියෙන්නේ.

මේ දවස්වල රට හැමතැනම කතාවෙන්නේ දේශීය ආර්ථිකයක් ගැන. යුඑන්පී, ශ්‍රී ලංකා, වම, දකුණ කියලා භේදයක් නෑ. කොයි කවුරුත් කතා වෙන්නේ අපේ රට ගොඩ දාන්නේ කොහොමද කියලා. අපේ ජනාධිපතිතුමායි, අගමැතිතුමයි මේ පාර කැබිනට්ටුව හදද්දි “දෙයක් වේ නම් සුදුස්සාටම හිමිවිය යුතුය” යන ආදර්ශ පාඨයට මුල්තැන දීලා වගේ හදලා තියෙන්නේ. ඒ නිසා වෙන්නැති රටේ වෙළඳාම පිළිබඳව වගකීම බන්දුලට ම පවරන්නට ඇත්තේ. ඉබ්බා දියේ දැම්මම ඇන්නෑවේ කිව්වලු ! ආර්ථික විද්‍යාව තම ජිවිතයම කර ගත්තු අපේ බන්දුල ගුණවර්ධන ඇමතිතුමා රටේ වෙළඳ ඇමතිවරයා කරවීමෙන් ජනාධිපතිතුමා කර ඇත්තේ අශ්වයාගේ කරට රොකට් එකක් හයි කරා වගේ වැඩක්.

බන්දුල ගුණවර්ධන කියන්නේ උපන්ගෙයි සුපිරි චින්තකයෙක්. රටක් ගොඩ දාන්න අපනයන වර්ධනය කරන්නේ නැතුව බැහැ කියන දේ ඔහු කියන්න පටන් ගත්තේ අපි කවුරුත් ඉපදෙන්නටත් කලියෙන්. ඉතින් ඔහු වෙළෙඳ ඇමැතිවරයා උනාම ඉස්සෙල්ලාම හොයලා බැලුවේ අපේ රටේ හදලා, රට යවන්න පුළුවන් දේවල් මොනවද කියලා. අන්න එතෙන්දි තමා ඔහුට “ත්‍රෛලෝක විජය පත්‍රම්” මුණගැසෙන්නේ.

            ඔබ කවුරුත් දන්න වචනයෙන් කිව්වොත් කංසා. එහෙම නැත්නම් මරුජුවානා, KG, Cannabis.

ගංජ කාරයෙක් කියලා මිනිසුන් තමන්ගේ මුඛයෙන් නොව අධෝමුඛයෙන් කතා කරන කංසා ගැන ඇයි ප්‍රබුද්ධ, බුද්ධිමත් හා ජාතියට මහා දූ දරු කැලක් බිහි ගුරුවරයෙකු ලෙසින් බන්දුල වගේ කෙනෙක් හොයන්න පටන් ගත්තේ.

ඇත්තටම ගංජා කොලේට මුවා වෙලා ඇමෙරිකන් සුද්දා ලෝකෙට කරපු වින්නැහිය තමා අපිට එහෙම හිතන්නත් පුරුදු පුහුණු කෙරේ.

කංසා මුලින්ම හොයා ගන්නේ මීට අවුරුදු 12,000 කට විතර කලින් චීනයේ අල්තායි කදුවැටිය ගංගා නිම්නයේදී. චීන්නු ලෝකෙ මුල්ම කඩදාසිය හැදුවෙත් මේ කංසා සහ මල්බෙරි එකට එකතු කරලා. අපේ ආයුර්වේද ප්‍රතිකර්ම වල අර්ශස් රෝග, ශ්වසන  රෝග හා කාන්තාවන්ගේ මාසික ශුද්ධි වේදනාව සමනයටත් කාලාන්තරයක් තිස්සේ මේක යොදා ගත්තා. ඒ වගේම අතීතය ඉදන් ගොඩක් නිර්මාණකරුවන් හා ලෝකය දෙස හරිම අපූරුවට දකින්න කැමැති පුද්ගලයන් මේවා තම මානසික ඒකාග්‍රතාවය පවත්වාගෙන යන්නත් භාවිතා කරා.

කංසා කියන්නේ මීටර් දෙකක් උසට වැඩෙන, ඒකටම ආවේණික රසායනික ද්‍රව්‍ය අසූවක් හා ඉතා වටිනා රසායනික ද්‍රව්‍ය 365 ක් පවතින ශාකයක්. අතීතයේ මෙය ගෘහණියන් මස් පිසීමේදී මස් මෘදු වෙන්නත් යොදා ගත්තා. ඒත් අද වන විට හෙරොයින්, අයිස් වැනි මත් ද්‍රව්‍ය වලට සලකන හැන්දෙන්ම තමා මේ කන්සා වලටත් සලකන්නේ.

සැබැවින්ම කංසා කියන්නේ ඖෂධයක්. නවීන විද්‍යාවේ පිළිකා සෛල විනාශ කරන ප්‍රතිකාර වලට, මානසික ගැටලු නිරාකරණය කරන්න වගේම පාකින්සන් වැනි ස්නායු රෝග වලට බෙහෙතක් විදියටත් නූතන බටහිර ලෝකයේ පවා මේ කංසා යොදාගන්නවා. කංසා වලට 2019 වර්ෂයේ විතරක් ඇමරිකන් ඩොලර් බිලියන 9.1 ක ජාත්‍යන්තර වෙළෙඳපොළක් ලෝකය තුළ නිර්මාණය වෙලා තිබුණා.

අද වර්තමානයේ ඖෂධයක් විදියට පමණක් නෙවෙයි එය ප්‍රයෝජනයට ගන්නේ. කංසා ඇට වලින් ප්‍රංශය මේ මොහොත වන විටත් තෙල් හදනවා. පිටි හදනවා. කංසා ශාකයේ කදේ පොත්තෙන් නූල්, රෙදි, ප්ලාස්ටික් හදනවා. අරටුවෙන් කඩදාසි, කොම්පෝස්ට් පොහොර හදනවා. යුරෝපා රටවල් තෙල් සායම් හදන්න, වාර්නිෂ්, සබන්, ෂැම්පු, මුද්‍රණ තීන්ත හදන්න විතරක් නෙවෙයි ඉන්ධන හදන්නත් මේ කංසා යොදාගන්නවා. අපේ සමහරු දොහොත් මුදුන් දී වැදන් ඉන්න මේ බටහිර රටවලත් කංසා ශාකය නීති ගත වෙලා තියෙනවා. ( කොන්දේසි සහිතව සහ රහිතව ) සුද්දෝ අපට එපා, එපා කියා කංසා වලින් වැඩ ගන්නේ එහෙමයි !

මේක ඇත්තටම ඇමරිකන් කුමන්ත්‍රණයක් ! 1900 මුල් කාලය වෙද්දී ඇමෙරිකාව කාර්මික නිෂ්පාදන අතින් ලෝකෙ ඉදිරියටම පැමිණෙමින් සිටියා. ඔවුන් ලී කුඩු යොදා ගනිමින් කඩදාසි, ඖෂධ, ඉන්ධන, රෙදි වර්ග හදන තාක්ෂණයන් දියුණු කරමින් සිටියා. ඒත් එක පරහක් ඔවුන්ට තිබ්බා. ඒ ලෝකය පුරාම ඒ වෙද්දීත් කංසා වලින් ඒ නිෂ්පාදනම කරනවා. ඉතින් ඇමරිකාවට ඕන වුණා ලෝකය පුරාම කතාවක් යවන්න කංසා මිනිසාට අහිතකරයි කියලා. එහෙම කරලා කංසා ශාකය ලෝකේ භාවිතයෙන් අයින් කරලා තමන්ගේ නිෂ්පාදන ලෝකයට විකුණන්න තමා ඔවුන් සැලසුම් කරේ. දෙවන ලෝක යුද්ධයෙන් පස්සේ ඇමරිකාව තව තවත් බලවත් වුණා. ඒ බලය යොදාගෙන එක්සත් ජාතීන්ගේ සංවිධානය බළල් අතක් කරගෙන කංසා ශාකය ලෝකය පුරා තහනම් කරා. ඒකට සංස්කෘතික වශයෙනුත් පහර දුන්නා. සුද්දන් කියන්නා ඕනෑම දේකට Yes, sir ! කීමට සැරසී සිටිනා කළු සුද්දන් ඒකට උදව් කරා. අපේ රටෙත් ඉන්නා කලු සුද්දෝ තමන්ගේ duty එක උපරිමයෙන් කරා. නීති තනන සහ ක්‍රියාත්මක කරන කළු සුද්දන් ද ඔවුන්ගේ වගකීම සීයට සීයක් ඉටු කරා. ඒ විදියට තමයි කංසා ශාකය ශ්‍රී ලංකාවේ නීතියෙන් සහ ජන මනසෙන් දෙකෙන්ම තහනම් දෙයක් වුණේ.

Grand View පරීක්ෂණ ආයතනය පුරෝකතනය කරන විදියට 2027 වර්ෂයේදී කංසා ශාකය ආශ්‍රිත නිෂ්පාදන සඳහා ඇමරිකන් ඩොලර් බිලියන 73.6 ක වෙළඳපොලක් ලෝකය තුළ නිර්මාණය වේ යැයි අපේක්ෂා කරනවා. සැබැවින්ම ඇමරිකන් ඩොලර් බිලියන 73.6 ක් කියන්නේ අපි වගේ චුට්ටි ආර්ථිකයකට මහා සාගරයක් වගේ.

ඉතින් මේ වැළලුණු කතාව ගොඩ අරන් ඒකේ සත්‍ය පාදගත්තු බන්දුල ගුණවර්ධනයන්ට සිතන්නට ඇති කංසා වගා කර අපනයනය කිරීමෙන් අපේ රටටත් විදේශ විනිමය ගේන්න පුළුවන් නේද කියලා. මේක ගැන හොයන්න රජයේ වෛද්‍ය නිළධාරින්ගේ සංගමයත් දැන් පෙරට ඇවිල්ලා ඉන්නවා. ඒක හොද දෙයක්.

බන්දුල ඇමතිතුමා මේ හදන්නේ අපේ ගමේ ගුණපාලට, ටවුමේ චොප්පේ අයියට ගංජා සුරුට්ටු පොවන්න නම් නෙමෙයි. ඔහු පෙන්වා දෙන්නේ විදේශ විනිමය සඳහා පූර්ණ රාජ්‍ය අධීක්ෂණය යටතේ අපනයනයට කංසා වගා කළ හැකි බවයි.

රටක් ගොඩනැගීම සඳහා ගත යුත්තේ ප්‍රසිද්ධම තීරණය නොව සුදුසුම තීරණයයි. ඒ බව බන්දුල ගුණවර්ධනගේ අතීත දේශපාලන භාවිතයෙන් අපට පෙනී යයි. අපේ රටේ මෙවැනි දේශපාලනඥයන් තව හය හත් දෙනෙකු හෝ රටේ සිටියා නම් මේ රට සිංගප්පූරුවක් වී දැන් බොහෝ කල්.

කොයි මගුලේත් ඇද දකින අපේ කළු සුද්දන්ට, සුදු මහත්වරුන්ගේ කංසා තහනම ඉරා ගන්නට කොන්දක් තිබේ දැයි අප නොදනිමු. එහෙත් ඒ කටයුත්ත බන්දුල වැනි මිනිසෙක් කරට අරගෙන ඇති නිසා එය විය නොහැක්කක් යැයි කිව නොහැකි ය. මන්ද, බන්දුල යනු කළ නොහැකි බොහෝ යහපත් දේ, අතීතයේ සාර්ථකව සිදු කෙරූ වැඩ්ඩෙක් නිසාය.

එවන් මිනිසෙක් රටට, ජාතියට වාසනාවක් බව පසක් වන්නේ එම තීරණවලින් ප්‍රතිලාභ ලබන නූපන් ඊලග දූදරු පරම්පරාවටයි.


උපුටා ගත්තේ  සසංක වීරරත්නගෙන්