මියගිය කොටි ත්රස්තවාදීන්ට වන්දි ලබා දීමට කැබිනට් තීරණ ගන්නා වත්මන් ආණ්ඩුව, වසර 12කට වඩා අඩු සේවා කාලයක් ඇති ආබාධිත රණවිරුවන්ට විශ්‍රාම වැටුපක් ලබා දීමට මීට වසර 02කට පෙර පසුගිය ආණ්ඩුව ගනු ලැබූ කැබිනට් තීරණය මෙතෙක් ක්රියාක්මක කර නැති බව ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පෙන්වා දෙයි.ඔහු මේ බව පැවසුවේ කොටුව දුම්රියපොළ ඉදිරිපිට පවත්වාගෙන යන ආබාධිත රණවිරු සත්‍යග්‍රහයට සහභාගී වී සිටින රණවිරුවන්ගේ සුවදුක් විමසීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විමල් වීරවංශ මහතා මෙසේ ද සඳහන් කළේය.
“මේ රටේ දෙමාව්පියන්ගේ, දූ දරුවන්ගේ ආරක්ෂාව, රැකවරණය වෙනුවෙන් ජීවිත පරිත්‍යාගයෙන් සටන් වැදුණු ආරක්ෂක හමුදාවල ආබාධිත සාමාජිකයන්ට අද තමන්ගේ විශ්‍රාම වැටුප් අයිතිය ඉල්ලලා පාරට බහින්න වෙලා තිබෙනවා. පසුගිය ආණ්ඩුව විසින් මේ අයගේ විශ්‍රාම වැටුප් අයිතිය ලබාදීමට කැබිනට් අනුමැතිය ලබා දුන්නේ 2014 නොවැම්බර් මාසයේදීයි. නමුත් රට වෙනුවෙන් අත, පය, ඇස් අහිමිකරගත් මේ පිරිසට විශ්‍රාම වැටුප් ලබා දෙන්න මේ වසර 02 තුළ මේ ආණ්ඩුව කටයුතුකර නැහැ.අද මේ ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය තුළ කැබිනට් මණ්ඩල පත්‍රිකා සම්මත වෙනවා, මියගිය කොටි ත්රස්තවාදීන්ට වන්දි ලබා දීමට. එහෙම කොටි ත්රස්තවාදීන්ට වන්දි ගෙවන්න කැබිනට් තීරණ ගන්නා මේ ආණ්ඩුව මේ රට වෙනුවෙන් අතපය අහිමිකරගත් රණවිරුවන් වෙනුවෙන් සොච්චම් මුදලක් වැය කිරිමේ තීරණය නොගෙන ඉන්නවා. මේ ආණ්ඩුව අද රණවිරුවන්ගේ දරු පවුල් අසරණ කරලා තිබෙනවා. ඒ වගේම රණවිරුවන්ගේ අභිමානය කෙළෙසලා තිබෙනවා. ‘රටක් බේරාගත් රණවිරුවා’ කියන සංකේතය තමයි අද මහ පාරේ විශ්‍රාම වැටුප් ඉල්ලන තත්වයට ඇද දමලා තිබෙන්නේ. මෙය අභිමානවත් ජාතියකට තවදුරටත් ඉවසන්න පුළුවන් කාරණයක් නොවෙයි.ඒ නිසා මේ ආණ්ඩුවේ කුමන හෝ සදාචාරයක් තිබෙන බලධාරියකු ඉන්නවානම් අපි ඔහුගෙන් ඉල්ලා සිටිනවා, ‘කරුණාකරලා මේ ආබාධිත රණවිරුවන්ට හිමි විශ්‍රාම වැටුප් කඩිනමින් ලබාදෙන්න. ඔවුන්ට නිදහසේ ජීවත්වීමේ ඉඩ හදා දෙන්න කියලා”
අනුරුද්ධ බණ්ඩාර
රණවාරණමාධ්ය ලේකම්,
ජාතික නිදහස් පෙරමුණ
No comments:
Post a Comment