2017/01/11

මට නුඹ විතරක් වුණාට නුඹට ඉන්නෙ මං විතරද? -මෛත්‍රී අහයිද? - ඇමති බන්දුල පවසයී (Video)

  මට නුඹ විතරක් වුණාට නුඹට ඉන්නෙ මං විතරද? -මෛත්‍රී අහයිද?




වසර ආරම්භයේදීම මෙරට ආර්ථිකය කඩා වැටීම හේතුවෙන් දැවැන්ත මර්දනකාරී භීෂණ යුගයක් මාගම්පුරෙන් ආරම්භ කර ඇති බවත්, ඉතිහාසේ සිද්ධ වුණු දේම නැවත සිද්ධ වෙමින් පවතින බවත් එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

1815 වර්ෂයේ කන්ද උඩරට ගිවිසුමෙන් ලංකාවේ ආර්ථිකය කඩා වැටීම හේතුවෙන් චීවරය හා සම්බුද්ධ ශාසනය විනාශ වූ බවත්, ඊට වසර 100කට පසු 1915 වසරේදී විජාතිකකරණයට එරෙහිව හඬ නැඟූ ධර්මපාලතුමා වසර 6කට හිරේ දැමූ බවත් ඒ මහතා කියා සිටියේය.

 එයිනුත් වසර 100කට පසු 2015 වසරේදී රටේ ස්වර්ණමය යුගය අවසන් කර රට විකුණමින් ස්වාමීන් වහන්සේලාගේ ඔළු පලා සිවුරු ගිනි තබා නින්දිත ප්‍රහාරයක් මේ ආණ්ඩුව විසින් එල්ල කළ බවත් ඒ මහතා පැවසීය.

එතුමා මේ බව පැවසුවේ අද (10) කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද පවසා සිටියේය.

“අගමැතිතුමා දැන් ආර්ථික වර්ධනයේ සියලු දේවල් ජනාධිපතිතුමා අභිබවලා තමන්ගේ අතට අරන් තමන්ගේ හිතවතුන් සමඟ එකතු වෙලා තමන්ගේ විරුද්ධවාදියාට එරෙහිව භීෂණය ක්‍රියාත්මක කරනවා. ආර්ථික කටයුතු සඳහා සුපිරි ඇමතිකමතක් ගේන්න එතුමා පසුගියදා උත්සාහ කළා . මේ අළුත් පනත අනුව තමන්ට විරුද්ධ වෙන ඕනෑම අයෙකුගේ ඔවුන්ගේ ප්‍රජා අයිතිය විශේෂ අධිකරණයක් මඟින් අහෝසි කරන්න තසූදානම් වෙනවා. ඉතිහාසයේ දී එජාපය එක පාරක් කරපු දේම තමා මේ කරන්නෙ. මේ අලුත් මර්දනකාරී පනත අනුව මහින්ද ගෝඨාභය ඇතුළු ඒකාබද්ධ විපක්ෂයේ සියළු දෙනාටම ඡන්දය ඉල්ලන්න බැරි තත්ත්වයක් තමා හදමින් තියෙන්නෙ. රනිල් වික්‍රමසිංහ අගමැතිතුමා ඒකාධිපති වෙන්න හදන වැඩපිළිවෙළක් තමා මේක.

ඡන්දයට කලින් කිව්වා වොක්ස් වැගන් ගෙනල්ලා රැකියා දස ලක්ෂයක් දෙනවා කියලා. ඒකෙ ආයෝජනය කරන්නේ ඩොලර් මිලියන 26යි. ඒත් කටුණායක ගුවන් තොටුපොළ හදන්න යනවා ඩොලර් මිලියන 48ක්. සොච්චම් මුදලක් මේ විදිහට ගෙනල්ලා බොරු ප්‍රෝඩාවක් තමා මේ කරන්නේ. 

පසුගිය වසර දෙකේ රනිල් වික්‍රමසිංහ තනි තීරණ අරන් තමා වැඩ කළේ. අක්කර 15000ක් හම්බන්තොට ඉඩම් ගන්නකොට පොළොන්නරුවට එන්න මා පොළොන්නරුවෙන් ඉඩම් දෙන්නම් කර්මාන්ත දෙන්නම් කියලා ජනපතිතුමා කිව්වා. ජනාධිපතිතුමා කොයිතරම් උගුලකටද අහුකරලා තියෙන්නෙ කියලා දැන් තේරෙනවා.

මට නුඹ විතරක් වුණාට නුඹට ඉන්නෙ මං විතරද කියලා ඊට පස්සෙ තමා ජනාධිපතිතුමා අගමැතිතුමාට කියන්නෙ. ඉතිහාසෙම මෙහෙම දෙයක් සිද්ධ වෙලා නැහැ. නමුත් මහින්ද නම් මටත් මොනවහරි දෙන්න කියලා දිමුගෙන් කවදාවත් මෙහෙම ඉල්ලුවෙ නෑ. රටේ ප්‍රශ්නෙකදි ජනාධිපතිතුමාට මැදිහත් වෙන්න බැරි තත්ත්වයක් තමා අද උදාවෙලා තියෙන්නෙ.

5000 නෝට්ටු සම්බන්ධයෙන් ජනාධිපතිතුමාට පුළුවන් වෙන්න ඔනේ මුදල් ඇමතිතුමාට කියලා විධානයක් නිකුත් කරලා මේ ගැන සොයලාබලන්න. දැන් 5000 නෝට්ටු ළඟ තියෙන ජනතාව පවා බය වෙනවා ඒ නිසා තමන්ට හිරේ යන්න වෙයි කියලා. මහ බැංකු අධිපතිතුමාකියනවා ඒකාබද්ධ විපක්ෂයේ ලිපිය අනුව ඒ ගැන පුළුල් පරීක්ෂණයක් කරනවා කියලා. ඔහු දේශපාලනඥයින්ට ගැති වෙන්න ඕනෙ නැහැ. ඔහු හරිදේ කරන තෙක් අපි ඔහු සහ ලංකාවේ බැංකු ක්‍රමය ආරක්ෂා කරනවා. නමුත් අද පවතින තත්ත්වය අනුව මහ බැංකු අධිපතිවරයටත් කියන්න බැරි තත්ත්වයක් තමා තියෙන්නෙ.

එම මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ජී.එල්. පීරිස් මහතා මෙසේ සඳහන් කළේය.

“අද රටේ සිද්ධ වෙන දේවල් අදහා ගන්න බෑ. රනිල්  දින තුනකට කලින් මුල් ගලක් තියලා විවෘත කිරීමක් කළා. ඒත් ජනාධිපතිතුමා කියනවා මෙතන ගිවිසුමක් නෑ කියලා. එහෙනම් කොහොමද මෙතන මුල් ගලක් තියන්නෙ.

ජනාධිපතිතුමා කියනවා කවුද මේ අක්කර 15000 ගැන කතා කරන්නේ මට එහෙම පෙන්නන්න ලියවිල්ලක් තියෙනවා නම් කියලා. එතකොට එදාම සුජීව සේනසිංහ මල්වත්තෙ හාමුදුරුවො හම්බෙලා කියනවා අපි අනිවාරයෙන්ම අක්කර 15000 දෙනවා කියලා. මේක මුලාවක්. ඇස් බැන්දුමක්. ජනතා විරෝධය මැද්දේ මේ ආරම්භ කරන ව්‍යාපෘතිවල අනාගතය මොකක්ද කියලා අපි අහනවා. 

හම්බන්තොට සිද්ධිය සම්බන්ධයෙන් අපි නීතීඥයොත් එක්ක කථා කරලා පොලීසියට එරෙහිව උසාවි යන්න ක්‍රියාමාර්ගයක් ගන්නවා. ගලක් උස්සගෙන හිටපු පුද්ගලයෙක් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක වුණේ නෑ. ඒ වගේම රෝහල් ගත විය යුතු තරමටම ගෙදර ඇතුළෙ  හිටිය ළමයෙක්ටත් කඳුළු ගෑස් වැදිලා තිබුණා .

පූජිත් අගමැතිතුමා වෙනුවෙන් මේ කරන දේවල්වල සීමාවක් තිබිය යුතුයි. පොලිස්පතිතුමාගේ මේ ක්‍රියාදාමය හරහා පොලීසියේ කීර්ති නාමයටත් හානියක් වෙන විදිහට තමා දැන් වැඩ කරන්නෙ.වොක්ස් වැගන් එන්න හිටියා කියලා දැන් කියනවා රජය එන්න එපා කිව්වලු. ආයෝජන මණ්ඩලේ වෙබ් එකේ අදටත් තියෙන්නෙ වොක්ස් වැගන් ලංකාවට එනවා රජයේ ඉල්ලීම මත කියලා. “

No comments:

Post a Comment