2017/01/09

බටලන්දේ රනිල් සහ රාජිත උග්‍ර මර්ධනයන් කරන්න බලාගන ඉන්නවා - ඇමති වාසුදේව

උග්‍ර මර්දනකාරී අවස්ථාවක් එනතුරු පාලකයින් බලාගෙන ඉන්නවා




ආණ්ඩුවේ පාලකයින් විසින් බලා සිටින්නේ උග්‍ර මර්දනකාරී අවස්ථාවක් එනතුරු යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා පවසයි. 

රාජිත සේනාරත්න මෙන්ම බටලන්ද වධකාගාරය පිළිබඳ අපකීර්තිමත් ඉතිහාසයක් ඇති රනිල් වික්‍රමසිංහ ද එවැනි අවස්ථාවක් එනතුරු බලා සිටින බව හෙතෙම කියා සිටියේ අද (09) කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද සඳහන් කළේය.

“අද බැලුවොත් රට පුරාම ජනතාවගේ විරෝධයන් දකින්න පුළුවන්. හම්බන්තොට වුණා වගේ ආණ්ඩුව චණ්ඩි ගෙනල්ලා තියෙනවා. ඒ චණ්ඩින්ට මොකුත් තුවාල වෙලා නෑ. දැන් කියනවා ඒ චණ්ඩින්ට අපි ගල් ගැහුවලු. ඒ නිසාලු කෝලාහලයේ ආරම්භය ඇති වුණේ. එහෙනම් ආණ්ඩුවේ ආධාර කරුවනුත් රෝහල්වල ඉන්න  ඕනෙනේ.

සමස්ත ලංකා ජන අරගලයට ආණ්ඩුව අලුත් අවුරුද්දේ අපිට කැඳවීමක් කරලා තියෙනවා. ඒ හැර අද වෙන මාවතක් ජනතාවට නෑ.  ආණ්ඩුව ගෙනියන්න පුළුවන් වෙන්නෙ මහා කෝලහාල මැද්දේ.

අද ආණ්ඩුවට මේ වගේ ලොකු උත්සවයක් තියන්න වෙන්නෙ ලොකු ජන කෝලහාල මැද්දෙ. මේක තමයි අනාගතය ගැන ආණ්ඩුවට ලැබුණු සංඥාව. ඒ නිසා අපි මේ ආණ්ඩුවට කියනවා පළාත් පාලන ඡන්දය තියන්න. ඒකෙන් මේ රටේ අනාගතය තීරණය වෙන්න ඉඩ හරින්න දෙන්න කියලා අපි ඉල්ලනවා.

ආණ්ඩුව අද උග්‍ර මර්දනකාරී අවස්ථාවක් එනතුරු මග බලාගෙන ඉන්නේ. රාජිත සේනාරත්න වගේම බටලන්ද වධකාගාරය ගැන අපකීර්තිමත් ඉතිහාසයක් ඇති රනිල් වික්‍රමසිංහත් බලාගෙන ඉන්නේ ඒ අවස්ථාව එනතුරු තමා.

මෙම අවස්ථාවට එක්වුණු සමාජවාදී ජනතා පෙරමුණේ මහලේකම් රාජා කොල්ලුරේ මහතා මෙසේ අදහස් පළ කළේය.

“ආණ්ඩුව යෝජනා කරලා තියෙන හැමදේම තියෙන්නේ අවිනිශ්චිත තත්ත්වයක.
හම්බන්තොට ගිවිසුමක් නෑ කියලා නැති ගිවිසුම්ක් පදනම් කරගෙන කාර්මික කලාපයක් විවෘත කරනවා.

ආණ්ඩුව බලයට පත් වීමේ ප්‍රධාන සටන් පාඨයක් වුණේ විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීම කියන එක. ඒත් දැන් වාර්තා වෙනවා විධායක ජනාධිපති ක්‍රමය පවත්වාගෙන යා යුතුයි කියලා ශ්‍රීලනිප ඇමතිවරු තීරණය කරලා තියෙනවා කියලා. නමුත් ජනාධිපති තාම මේ ගැන තීරණයක් අරන් නෑ. ඒත් ඇමතිවරු තීරණය කරලා තියෙනවා මීළඟ ජනාධිපතිවරණයට අපේක්ෂකයෙක් වශයෙන් වර්තමාන ජනාධිපතිවරයා ඉදිරිපත් විය යුතුයි කියලා.“

එසේම මෙම අවස්ථාවට එක්වුණු හිටපු අමාත්‍ය  තිස්ස විතාරණ මහතා මෙසේ සඳහන් කළේය.

“මං කිව්වා වොක්ස් වැගන් සමාගම ලංකාවට ඇවිල්ලා කවදාවත් ‍‍‍ඔවුන්ගේ ආයතනයක් පටන් ගන්නේ නෑ කියලා. මොකද ලෝකෙ වටේ එයාලගේ පරිසර දූෂණ වරද නිසා ශාඛා වහගෙන යනවා. ඒත් මුල්ගල තියනකන්ම කිව්වා වොක්ස් වැගන් එනවා කියලා. දැන් ඒ සමාගමේ නියෝජිතයින්ම කියනවා එයාලට මේකෙ සම්බන්ධයක් නෑ කියලා. ඒ නිසා මේක බොරු කියන මොන වාගේ පාලනයක් ද  කියලා හිතන්න පුළුවන්.“

එහිදී අදහස් දැක්වූ  ඇන්ටන් ද සොයිසා මහතා මෙසේ අදහස් පළ කළේය.

“පසුගිය හත්වෙනිදා එල්ල කළ ප්‍රහාරය අපි හෙළා දකිනවා. එදා ඒ විරෝධයට එකතු වුණ ජනතාව අතේ පොලු ගල් මුල් තිබුණෙ නෑ. මොකද ඒ අය ආවෙ නිරායුධව.

ඒත් ඒ අය අහිංසකව විරෝධය පාන්න සූදානම් වෙද්දි අපි දැක්ක දෙයක් තමයි රනිල් වික්‍රමසිංහ උත්සවයට ගෙනාවෙ හම්බන්තොට ජනතාව නෙමෙයි කියන එක. රවී කරුණායක මට්ටක්කුලියෙන් කෝට්ටෙන් එක්සත් ජාතික පක්ෂෙ මැරයො ගෙනිච්චා. නලින් බණ්ඩාර අනුරාධපුරෙන් කුරුණෑගලින් ගෙනාවා. චන්දිම ගමගේ අනුරාධපුරෙන් ගෙනාවා. ඒ වගේම සජිත් ප්‍රේමදාස හම්බන්තොටින් එකතු කර ගත්ත මැරයො තමා වටේම හිටියේ.

ඔවුන් මේ නිරායුධ අහිංසක ජනතාවට ගල් ගහන්න පටන් ගත්තා. ජනතාවගේ ඔළු පැළුවා. ‍ ඔවුන්ව එතනින් ඉවත් කරන්න ආණ්ඩුවේ ලයිසන් ගත්ත මැරයො කීප දෙනෙක් වාහන හැසිරුවා. ඒ වගේම එක මිම්මට දමා ගත්ත පොළු කෑලි දා ගත්ත වාහන කීපයක් ජනතාව අතරෙ සැරිසැරුවා. ඒත් මේ වාහන කාගෙද කියලා කාටවත් හොයා ගන්න බැරි වුණා. ඊට පස්සේ ඒවා පසු බස්සන කොට පොලීසිය ක්‍රියාත්මක වුණා. කුණු වතුර ගහන්න පටන් ගත්තා. ඊළඟට එළව එළවා බැටන් පොලුවලින් කඳුළු ගෑස් වලින් පහර දෙන්න පටන් ගත්තා.“

No comments:

Post a Comment