2017/01/21

සිසු හඬට කළ පහරදීම හෙළා දකිනවා - ජාතික භික්ෂු පෙරමුණ

සිසු හඬට කළ පහරදීම හෙළා දකිනවා





අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ මූලිකත්වයෙන් ඊයේ(19) දිනයේ සිදුකළ පාගමනට ආණ්ඩුව ජල ප‍්‍රහාර හා කඳුළු ගෑස් ප‍්‍රහාර එල්ල කරමින් කළ මර්දනය දැඩි පිළිකුළෙන් යුතුව හෙළා දකින බව ජාතික භික්ෂු පෙරමුණ පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් එම පෙරමුණ පෙන්වා දෙන්නේ මෙලෙස විරෝධතාවන් මර්දනය කිරීම වත්මන් ආණ්ඩුවට ඇති එකම විසඳුම බවයි.

එම නිවේදනය පහත පරිදි වෙයි,

රටේ සහ ජනතාවගේ  විරෝධයට ලක්ව ඇති මාළඹේ ‘‘හොර උපාධි කඩය’’ ලෙස නම් වී ඇති මුදලට වෛද්‍ය උපාධිය විකුණන සයිටම් ආයතනය වසා දමන ලෙස බලකරමින් ඊයේ දින අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය මූලිකව සිදුකළ පාගමනට දෙමුහුන් ආණ්ඩුවට ඇති එකම විසඳුම වූ ජල ප‍්‍රහාර හා කඳුළු ගෑස් ප‍්‍රහාර එල්ල කරමින් කළ මර්දනය දැඩි පිළිකුළෙන් හෙළාදකින්නෙමු.

ආණ්ඩුවේ ප‍්‍රබලයන්ගේ හා හිතවතුන්ගේ දූ දරුවන් සහ ඥාතිවරුන් ඇතුළු එක්තරා පංතියක් සිය සමාජ තත්වය ආරක්‍ෂා කරගැනීමේ ආභරණයක් ලෙස අද මෙම ආයතනයෙන් වෛද්‍ය උපාධි ලබාගන්නා බව ඉතා පැහැදිලිය. ඔවුන්  කිසිසේත් වෛද්‍ය උපාධියක් ලැබීමට සපුරාගත යුතු ලංකාවේ සම්මත සෙසු සුදුසුකම් කිසිවත් සපුරා නැති අතර මුදල් වියදම් කිරීමට ඇති හැකියාව පමණක් එකම සුදුසුකම බවට පත්කරගෙන ඇත.

සියල්ල විකුණාගෙන කෑමේ ආණ්ඩුවේ ප‍්‍රතිපත්තිය සපුරාගැනීම තුළින් තම පංතියට හා පංතියේ හිතවතුන්ට ජාවාරම් කාරී ලෙස මුදල් ඉපයීමට ඉඩ ලබාදී ඇත. සයිටම් ආයතනයට නැගෙන මහජන විරෝධතා නොතකා ගොලූවන් බිහිරන් සේ ආණ්ඩුවේ බලවතුන් හැසිරෙන්නේ ඒ නිසාය. එපමණක් නොව ආන්දෝලනාත්මක මරණ කීපයක් පවා මේ වන විට සිදුවී තිබියදී බලවතුන් මේ ගොලූ වෘතය රකින්නේ ජනතාවගේ ජීවිත වලට වඩා ඔවුන්ට මුදල් වටිනා බැවිනි.

එහෙත් රටට ආදරය ඇති විශ්වවිද්‍යාල සිසුන්, වෛද්‍යවරුන්, කම්කරුවන්, දේශපාලනඥයින් ආගමික නායකයින්  ඇතුළු සැම දිනෙන් දින ආණ්ඩුවේ විකූණාගෙන කෑමේ ප‍්‍රතිපත්තියට එරෙහිව නැගී එමින සිටියි.

සයිටම් ආයතනය සම්බන්ධයෙන්ද එය එසේමය. අන්තරේ ඊයේ සිදුකළේ එහි තවත් එක් පියවරකි. එම සියලූ සිසු සිසුවියන් හා හිමිවරුන් එකාවන්ව රොදබැඳ ආණ්ඩුවේ මුග්ධ ප‍්‍රහාරය හමුවේ ධෛර්යයෙන කටයුතු කළ ආකාරය පිළිබඳ ජාතික භික්‍ෂු පෙරමුණ ඒ සැමට දිරිවඩන්නෙමු. සයිටම් ආයතනය අහෝසි කරන තෙක් ජනතාව තුළින් දිනෙන් දින නැගෙන විරෝධය කුළුගැන්විය යුතු බවද අවධාරණය කරන්නෙමු. 

No comments:

Post a Comment