2017/03/04

ලංකාවට හයිබ්‍රිඩ් අදිකරණයක් ඕන. හමුදාවට දඩුවම් කල යුතුයි








ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරයාගේ කාර්යාලය නිකුත් කළ වාර්තාවකින් මේ බව අනාවරණය කෙරිණි.
එම වාර්තාව යළි අවධාරණය කර සිටින්නේ, අතීතයේ සිදුවූ අපරාධ සම්බන්ධයෙන් වගවීම ක්‍රියාත්මක කිරීම සඳහා විදේශීය විනිසුරුවරුන්ගෙන් සමන්විත හයිබ්‍රිඩ් අධිකරණයක් ස්ථාපිත කළ යුතු බව ය.
ඒ සඳහා පනත් කෙටුම්පතක් සම්මත කර ගැනීමේ අවශ්‍යතාව ද එක්සත් ජාතීන්ගේ වාර්තාව අවධාරණය කරයි.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය සහ මහ කොමසාරිස්වරයා සිය යෝජනා මගින් අනුමත කරන ලද නිර්දේශ ක්‍රියාවට නැංවීම සඳහා උපදෙස් ලබා දීමටත්, අවශ්‍ය තාක්ෂණික සහය ලබා දීම සඳහාත්, මානව හිමිකම් තත්ත්වය නිරීක්ෂණය කිරීම සඳහාත් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරයාගේ කාර්යාලයක් මෙරට තුළ ස්ථාපිත කිරීම සඳහා ආරාධනා කරන ලෙස ද නිර්දේශ අතරට අයත් ය.
මීට අමතරව හමුදාව විසින් අත්පත් කර ගෙන සිටින පෞද්ගලික ඉඩම් යළි ඔවුන් වෙත භාර දීම සඳහා ප්‍රමුඛත්වය ලබා දීම ද නිර්දේශ අතරට වේ.
යුද හමුදාව, පොලීසිය හා බුද්ධි අංශවලට එරෙහිව එල්ල වන වද හිංසා කිරීමේ හා ලිංගික හිංසන චෝදනා විභාග කර දඬුවම් කිරීම ද මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරයාගේ නිර්දේශ අතරට අයත් ය.
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූල වන නව පනතක් ගෙන ඒමේ අවශ්‍යතාව ද වාර්තාවෙන් අවධාරණය කර තිබේ.
එහි දැක්වෙන්නේ, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ දැනට රඳවාගෙන සිටින පුද්ගලයින් වහාම නඩු විභාගවලට යොමු කිරීම හෝ මුදා හැරීම අරමුණු කර ගනිමින් සියලු ම රැඳෙවියන්ට අදාළව සියලු නඩු යළි සමාලෝචනය කළ යුතු බව ය.
එහි වැඩිදුරටත් දැක්වෙන්නේ, වගවීම ක්‍රියාත්මක කිරීම සඳහා පුළුල් මුලෝපායක් නොමැති වීම හේතුවෙන් ශ්‍රී ලංකාවේ දිගුකාලීන සාමය, සංහිඳියාව සහ ස්ථාවර භාවය උදා කිරීම සඳහා ලැබී ඇති මහඟු අවස්ථාව අහිමි වීමේ අවස්ථාවක් මතුව ඇති බව ය.